වර්තමානයේ දී නායකයින්ගෙන් රට ආරක්ෂා කිරීමට සිදු වෙලා


රට ආරක්ෂා කිරිමට නායකයන් පත්කළ ජනතාවට අද නායකයන්ගෙන් රට ආරක්ෂා කිරිමට සිදුව ඇතැයි ශ‍්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාළි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ කොළඹදී පැවසූහ.

මහනායකහිමිවරුන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය විසින් නව ව්‍යවස්තාවක් ගෙන ඒම හෝ තිබෙන ව්‍යවස්ථාවට සංශෝධන නොකල යුතුයි කියා සංඝ ආඥාවක් නිකුත් කර තිබියදි මේ වනවිට සකස් කර අවසන් නව ව්‍යවස්ථාව 20 වන ආන්ඩුක‍්‍රම ව්‍යවස්තා සංශෝධනයේම නව සංස්කරනයක් විදියට සම්මත කරගැනීමේ උත්සාහයක් පවතින බවද මැදගොඩ අභයතිස්ස හිමියෝ අවධාරණය කළහ.

ජාතික විද්වද් භික්ෂු සංසදය පැපිලියාන සුනේත‍්‍රා මහාදේවී පිරිවෙන් රජමහා විහාරයේ පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙසේද සදහන් කළහ.

‘‘2015 වසරේ ආරම්භ කරන ලද ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය ක‍්‍රමාණුකූලව පෙරමුනු කිහිපයකින් ඉදිරියට ඇවිත් තියෙනවා.

ජයම්පති වික‍්‍රමරත්න, ලාල් විජේනායක යන අය එතනදි අපේ රටේ බෙදුම්වාදයේ පියවරුන් ලෙස සළකන්න පුලූවන්. ජනතා අදහස් ලබාගන්නා මුවාවෙන් ඔවුන් පක්ෂපාති වාර්ථාවක් සකස් කළා.

මහනායකහිමිවරුන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය විසින් නව ව්‍යවස්තාවක් ගෙන ඒම හෝ තිබෙන ව්‍යවස්ථාවට සංශෝධන නොකළ යුතුයි කියලා සංඝාඥාවක් නිකුත් කළා. ඒත් සමගමේ ව්‍යවස්තා ක‍්‍රියාදාමය යම් පරිද්දකින් අඩපණ වුණා.

දැන් මේක විධික‍්‍රම දෙකක් විදියට ඉදිරියට ගෙන යනවා. ජනතා විමුක්තිපෙරමුණ ඉදිරිපත් කරන ලද 20 වන ආන්ඩුක‍්‍රම ව්‍යවස්තා සංශෝධනය ඉන් එකක්. මේ සම්බන්ධයෙන් අධිකරණමය ක‍්‍රියාමාර්ග ගැනිමත් සමග කැබින්ට් මන්ඩලය හරහා නැවත එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඔවුන්ට සිද්ද වෙනවා.

අනික් පැත්තෙන් මේ වනවිට සකස් කර අවසන් නව ව්‍යවස්ථාව කැබිනට් මණ්ඩලයට එනවා. මේ දෙකම එකට හයිබි‍්‍රඞ් කරලා 20 වන ආන්ඩුක‍්‍රම ව්‍යවස්තා සංශෝධනයේම නව සංස්කරනයක් විදියට මෙය නැවත පාර්ලිමේන්තුවට එනවා.

ජනතා විමුක්ති පෙරමුණේ බොල් පිළිමය මත ඉදිවන්නේ බෙදුම්වාදයේ ගල් පිළිමය කියන එක අපි අමතක නොකල යුතුයි. මේ කුමන්ත‍්‍රණයේ මහ මොලකරුවා විදියට ජ.වි.පෙ මේ වේලාවේ බොහෝම ලස්සනට මේ රට ආමන්ත‍්‍රණය කරනවා. ඔවුන් මේ කුමන්ත‍්‍රණයේ ලංකිය ඒජන්තවරයා ලෙස කටයුතු කරනවා.

මේ රටේ ජනතාව මෝඩයෝ කරලා ජාත්‍යන්තරයෙන් වාසි ගන්න මේ අය උත්සාහ කරනවා. තමන්ට දේශපාළන බළය අත්පත් කරගන්න දරන මේ නින්දිත ක‍්‍රියාමාර්ගය සමස්ත මහා සංඝ රත්නය විදියට අපි හෙළා දකිනවා.



නිමල කොඩිතුවක්කු සහ ජී. එච් එස් කහටපිටිය
Lankadipa - 2018.09.27

No comments:

Post a Comment